පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, October 21, 2008

යලිත් ගුරුතුමන් හමුවිය.

වෛද්‍යවරුන් වෙත තම අබල දුබල වු ශාරීරික යන්ත්‍ර දක්වා අළුත්වැඩියා කරගැනීමට පැමිනියවුන්ගෙන් චැනල් මධ්‍යස්ථානය කාර්ය බහුල ගරාජයක් බවට පත්ව තිබේ. මමද විටින් විට වේදනා දෙන මගේ දනහිස යථා තත්වයට පත්කරගැනීමේ අරමුනින් කායික වෛද්‍යවරයෙකු වෙත යාමට ගාස්තු ගෙවා කුවිතාන්සිය ගුලි කරගෙන ඔහුගේ කාමරය සොයමින් ලෙඩුන්ද කාමරද පසුකරමින් ඇවිද යමින් සිටියෙමි. ලෙඩුන්ගේ කන්කෙදිරිලි හඹා යමින් තැනින් තැන රදවා ඇති රූපවාහිණී යන්ත්‍ර වල විසුක දර්ශනත් මධ්‍යස්ථානයේ සවිකර ඇති ශබ්ද විකාශන වලින් රෝගීන් හසුරවමින් වෛද්‍යවරුන් වෙත යොමු කරවන හඩත් කන් කරච්චලයක් වුවාට , කාගේ කාගේත් ශාරිරික වේදනා ඉක්ම යාමට ඒවා සමත් නැතැයි මට සිතේ.
මේ හවු අස්සේ රෝද පුටුවක් බොහෝ අබලන්වූ පුරුදු මුහුනක් ඇති සිරුරක් දරා ගෙන ජීවිතය පිලිබදවු දෙගිඩියාවෙන් පීඩිතව සිටින අයුරින් අසරනව වෛද්‍යවරයකුගේ කාමරයේ දොර දෙස බලා සිටින රෝගියෙක් දැක මගේ අබලන් දෙදනහිස් මා ඔහු ලග නතර කරවිනි. අධික රුධිර පීඩනය විසින් , සිරුරේ වම් කොටස අප්‍රානික කරවා තිබු ඔහුට හැගීම් ප්‍රකාශ කිරිමට දෛවය විසින් දෙනෙතට සහ මුහුනට පවරා තිබිනි.මම සෙනහසින් ඔහුගේ රෝගි සිරුර බදා ගතිමි. ඔහුගේ දෙනෙතින් වට කදුලක් මා දෙඅත තෙත් කර තිබිනි.

ඒ කදුලේ ලියවී තිබුනේ කුමක්ද යන්න මා තවමත් සොයමි.

වර්තමානයේ සිට මා මගේ පාසල් කාලයට ....., දශක තුනක් හතරක් ඈතට...: අපි දෙදෙනා රැගෙන ගියාය.මම ඔහුගේ සුචච කීකරු ගෝලයා වීමි. ඔහු මගේ ගුරුතුමා විය.
කාලය විසින් විදුහල්පතිවරයෙකු මාණ්ඩලික අධ්‍යාපන නිලධාරියෙකු පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙකු දක්වා ඔහු දුර වෘත්තීය ගමනක යෙදී සිටියාය. මම ඔහු පසු පස වයසත් වගකීමත් සමග ඉදිරියට ගමන් කරමින් සිටියෙමි.මාද ඔහුද මේ අතර වාරයේ වරින් වර හමුවුයේ මා අවන්හලක වෘත්තිකයෙකු වූ නිසාවෙනි.
ගුරුවරියකවු මගේ පියබද වෘත්තීය අසාධාරනයකට ලක්වන්නේ ඔහු පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා ලෙස අප පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කරන සමයේය. මට මගේ ගුරුවරයා අහිමිවන්නේද අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාතුල ජීවත් වු පල් හොරෙකු හමුවන්නේද මේ වකවානුවේය.

විධිමත් විභාගයකින් සමත්වන මගේ පියබද පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පැවත්වු සම්මුඛ පරීක්ෂණයකට පෙනීසිට අසමත්විය. එහෙත් ඇයට වඩා අඩු සේවා කාලයක් , අඩු වෘත්තීය සුදුසුකම් තිබු ගුරුමහත්මියක උසස්වීමට හිමි කම් ලැබුවාය. මේ සිද්ධිය නිවස තුල මහත් ටොරොන්ටෝවක් බවට පත්ව මාද කලම්බා උඩ හැරීමට පියබද පීඩනයක් ඇති කල බැවින් ඇගේ ලිපිගොණුවද කිහිලි ගන්නාගෙන මම මගේ ගුරුවරයා හමුවන්න ගියෙමි.

අවන්හලක වෘත්තිකයෙකු වූ නිසාවෙන්ද , බොහෝ පාසල් මිතුරන් රාජ්‍ය සේවයේ සිටි නිසාද මට බොහෝ තැන් අමුත්තක් නැතිව යා හැකිවිය. පලාත් අධ්‍ය‍ෙපන අධ්‍යක්‍ෂවරයා මගේ ගුරුතුමාවු බැවින් සහ ඔහු අවන්හලේදී හමුවු සැම දිනකම ඔහුගේ බිල්පත් ගෙවීම මගේ භාරය විය. මම සිංහයෙකු සෙයින් නිවසින් ගියද, පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාගේ වායු සමිකරණය කරන ලද නිල කාමරයේදී බලු විය.

වාඩිවීමට ඉදිරි අසුනද නොපෙන්වා මා දුන් ලිපිගොණුව අත රදාගෙන “ තමුන් හිතනවාද හැඩට රුවට සම්මුඛ පරීන්‍ෂණ වලින් සමත් කරනවා කියලා ?.” මට ප්‍රශ්නයකින් දමා ගැසීය. මම ඉදිරි අසුන් දෙක දක්වා වාඩිවෙන්නද මෙතනින් අසාගෙන අසුනක් ඇදගෙන වාඩිවනවාත් සමගම “මේක තමුන්ට අයත් ප්‍රශ්නයක් නෙමෙයි අදාල පුද්ගලයාට එන්න කියනවා” ලිපිගොණුව මා අතපත් කලේය.

ලිපිගොණුව දුටු පමනින්ම මෙතුමන් කලබලයට පත්වුයේ මන්ද අසුනට කඩා වැටෙන්නට පෙරම සංඥාවක් මගේ මොළය නිකුත් කලේය. නොයෙක් ආවේග සංඥා ගලා ආවත් ඒවා මා තුලම බිද හෙලන්නට සලස්වමින් සිටි මම හැකි තරම් වායු සමීකරණයේ සිසිලට අනුගත වීමට උත්සහා දරමින් වට පිට බැළුවෙමි.
කාර්යාල කාර්ය සහකාරවරයාට “ ඊළග” කියන්නට නොහැකිවත් පෞද්ගලික සහකාර නිලධාරිණිය හට පිට්ටු හිරවුන සෙයකින් මා දෙස බලා සිටින බවක් මට හැගිනි. මට සිහිවුයේ ගෙදරය . ලිහා නොගෙන ගෙදර ගියහොත් ඒ ලනුවේ එල්ලෙන්න සිදුවන්නේ මටය.

අධ්‍යාපන අධ්‍යක්‍ෂසවරයා මා සිටින බවක්ද නොදන්නා සේ ලිපිගොණුවක බරපතල ගැටළුවක හිරවෙලාය. මේ අතරවාරය මම ඔහු මගේ ගුරු තනතුරෙන් ඉවත් කරදමන්නටත් මේ උද්දච්ච මිනිහාගේ පෙරලිය ගැන පරීක්‍ෂණයක් කිරිමට බුද්ධි අංශ මෙහෛවිය යුතු අන්දම ගැනත් මෙනෙහි කරමින් සිටියෙමි.ඔහු මට ඇහුම්කන් දෙන ස්වරූපයක් ඇත්තේම නැත.
මම හැකි තරම් සන්සුන් වන්නට මගේ ආවේගයන්ට අණ කර “ එහෙනම් විසදුමක් නෑ “ උත්තරයක් බලාපොරොත්තුව කාමරයේ සිසිල ගැන සිතන්නට විය.ඔහු ලිපි ගොණුවේ මිස මට උත්තරයක් දෙන උත්සාහයක් නැත.
ගෙවෙන කාලය හොරකමක ඡායා මගේ හිතට ඇතුල්කරමින් ඉවසීමේ දේශ සීමා කරා මම ලංවෙමින් සිටින බවක් දැනෙන්න විය.මගේ ගුරාවු අධ්‍යක්‍ෂවරයා හැර දමා මම ම විසදුම සොයා යා යුතු බව කියන්නට විය. “මිස්ටර් සද්ධාරත්න විසදුමත් සොයා ගෙන මම එනවා එදාට තමුන්නාන්සේගේ බෙල්ල අන්න අතන තියේවි” කියාගෙන කුණු කූඩය පෙන්වමින් නැගිට ඔහුගේ කාමරයෙන් පිටවිය.
සියල්ල තුෂ්නිම්භූතය. අධ්‍යක්‍ෂවරයාද මගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවන්න ඇත.මගේ ශබ්දයද කාර්යාලය පුරා පැතිර ගොස් ඇත.සැම මා කවුදැයි විපරම් කරන දෑස් ඇතුව මා දෙස බලා සිටින බවද නොතකා දිගු පඩිපෙල බැස කිසිවක් නොවු සෙයකින් ආ වාහනයට නැග ඒමට මට හැකිවිය.
ආපසු එන අතර මා කල යුත්ත මගේ සිත සැලසුම් කරමින් විවිධ යෝජනා ඉදිරිපත් කරන්නට පටන් ගත්තේය. මේ සදහා මැති ඇමති වරුන් ප්‍රාදේශීය දේශපාලකයන් අධ්‍යාපන බලධාරීන් කී නොකී අය උදව්වට ගත යුතුය. මගේ සිත අවසානයේ උදව්වට තෝරා ගත්තේ කාර්යාල කාර්ය සහකාරවරු ‍දෙදෙනෙක්ය.

සම්මුඛ පරීක්ෂඇණයට අදාල ලකුනූ නිර්නායක, ලකුණු ලබා දී ඇති අන්දම ,උසස්වීම්ලාභිණියගේ අධ්යාගපන සුදුසුකම් ,වෘත්තීය සුදුසුකම් ආදිය තහවුරු කරගත හැකි ලෙස තිබිය යුතුය.
අධ්‍යක්‍ෂවරයා භාරයේ තිබු සම්මුඛ පරීක්ෂ,ණයට අදාල ලකුනූ නිර්නායක, ලකුණු ලබා දී ඇති අන්දම ත් උසස්වීම්ලාභිණියගේ අධ්‍යාපන සුදුසුකම් ,වෘත්තීය සුදුසුකම් ආදිය තහවුරු කරගත හැකි සහතිකවල ඡායා පිටපත්ද මා සොයා ආවේ ය.
මේ සියල්ල ගලපා බලනවිට විභාග සහතික මතම වංචනිකව ලකුනු 15 ක් ලබා දි ඇ හට අදාල පත්වීම කර ඇති බව තහවුරු කිරිමේ ලේඛණ දිනා ගත් මම නිවසට පැමිණියේ රටක් රාජ්‍යයක් දිනාගත් පරිද්දෙනි.නොඑසේනම් මට නිවසට තබා එලිපත්තටවත් ගොඩවන්නට වරම් ලැබෙන්නේ නැත.
අධ්‍යක්‍ෂතවරයා එවකට රාජ්‍ය නායිකාව සමග සෘජු සම්බන්ධකම් ඇත්තෙක්වී ඉහල ගිය නිසාවෙන් සර්ව බලධාරී චින්තනයක් මවා ගෙන රාජකාරි කලේවිය.ඔහු විදුහල්පතිවරයෙකු සමයේ නවාතැන් ගත් නිවසක දැරිවියකට උදව් කිරිමට කරගත් නිර්මානය මට විසක්ව ඇති බව බුද්ධි අංශ පැහැදිලි කලාය.

ඔහු මට එරෙහිව පොලිස් පොතේ ලියමින් මා ඔහුගේ කාර්යාලයට පැමින රාජකාරි කටයුතු වලට බාදා කල බවත් බෙල්ල කපා දමන බවට තර්ජනය කල බවත් සටහන් කලේය. පොලිසිය මා සොයා ආවේය. විභාගයකට දින නියමවිනි . පිරිවර නිලධාරින් සමග ඔහු මට නැවත අපරාධ අංශයේදී මුණ ගැසෙන්නට සිදුවිය. චෝදනා ඉතාමත් බලවත්ය. බී වාර්තාවක් මත මහේස්ත්‍රාවරයෙකුට ඉදිරිපත් කර අඩු තරමින් සති දෙකකට රිමාන්ඩ් බන්ධනාගාර ගත කල හැක. මටත් ඇහුම් කන්දෙන්නට පොලිස් පරීක්ෂවකවරයාට සිදුවිය. ඔහුද අවන්හලේ මිත්‍රයෙකු වීම අධ්‍යක්‍ෂවරයාගේ දේශපාලන හයිය යම්තරමකින් සමනයකර ගැනීමට උදව් විය.
මම එක් රැස් කරගත් ලිපි ලේඛණ වලින් සන්නද්ධව ඔහු කර ඇති වංචාව පැහැදිලි කලේය. කිසිවක් නෑහුනු එතුමාට ඇහෙන්න පටන් ගත්තේය.නිලධාරීන් අවට උෂ්නත්වයට අනුගතවීමට ටයි පටි ලිහිල් කරගෙන මට බෙල්ල පාන්නවිය. බෙල්ල කපන්නේ මේවායින් මිස ආයුධයකින් යන්නක් මා අදහස් නොකල බව ඔවුන්ට පැහැදිලිවෙමින් සිටින බව එකිනෙකාගේ මුහුනු මට කියන්න විය.මා අධිකරනයට දක්කනවාද ? අධ්‍යක්‍ෂතුමා කුණු කූඩයට යනවාද ? . තෝරා ගැනීමට ඉඩ ඉතිරිවිය.
නිරුත්තරව ඔහුත් මාත් විසිර ගිය අතර ඊලග සතිය වන විට නිවරදි මාවතට පැමින මට සාමයේ අත දික්වි සියල්ල අමතක කර දමන්නට හැකිවිය.
ඉන් වසර දෙකකට පමන පසු විශ්‍රාම ගිය ඔහු මට යලිත් හමුවුනේ අද චැනල් මධ්‍යස්ථානයේදීය. මට අධ්‍යක්‍ෂ පල් හොරා මගේ මනසින් පලවා හැර මගේ ගුරුතුමන් සෙනෙහසින් බදා ගන්නට හැකිවිය .

Thursday, October 16, 2008

විශ්ව ශක්තිය - පසු විපරමක්

“විශ්ව ශක්තිය” යන මැයෙන් 02.08.2008 දින මා පල කල තොරතුරු අවසන් කලේ නිගමනයකින් තොරව.
I. අප යොදා ගත් රෝගීන් දස දෙනෙක්ගෙන් එක් අයෙකු තමන්ට සුවය ලැබූ බව පැවසුවා. ඈ විශ්‍රාමික විදුහල්පතිනියක්. ඇගේ රෝග ස්වභාවය හන්දි පත් වේදනාව,මස් පිඩුවල වේදනාව . අධික රුධිර පීඩනයට බටහිර ප්‍රතිකාර නොකඩවා තවමත් ලබාගන්නවා. ඈ පවසන්නේ සිරුරේ පැවති වේදනා තුරන් වූ බවයි. අධික රුධිර පීඩනය පාලනයවී ඇති බවයි.
II. දෙවැන්නා හත වසර පාසල් සිසුවෙක්. ඔහු දගකාරයි. දෙමව්පියන්ට ඇහුම්කන් දෙන්නේ නෑ.නිතරම පාසල් ගමන අත්හිටවනවා.වැඩිටියන්හට කිසිදු ගරුත්වයක් නැහැ. පරුෂ වචන භාවිතා කරනවා. මේ සිසුවාගේ දෙමව්පියන් රජයේ ඉහල රැකියා කරන අය. නිවසේ මෙහෙකරුවන් නැහැ. දෙමව්පිය සෙනෙහස ඕනෑවටත් වඩා ලැබෙනවා. ඔහුටද ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් වුනේ නැහැ.
III. තුන්වැන්නා ආතරයිටිස් රෝගියෙක්. අධ්‍යායපන මාණ්ඩලික නිලධාරිණියක්. ඈ හටත් ප්‍රතිකාර වලින් පලක් වී නැහැ.
IV. සිව්වැන්නා. විශ්‍රාමික අධ්‍යාපන මාණ්ඩලික නිලධාරි ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ රුධිර සීනි අඩුවීම හා මෑතකදී ඒ සදහා යොදා ගත් බටහිර ඹෟෂධ වර්ගයක් අසාත්මික වීමෙන් චර්ම රෝගයක් වැලදී පීඩා විදිනවා.ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් උන්වහන්සේටද නැහැ.ඒත් උන්වහන්සේ පැවසුවේ යම් යම් අවස්ථාවලදී බෝධි පූජා ආදියෙන් අපට මානසික සහනයක් ලැබෙන්නාක් මෙන් මෙවැනි ප්‍රතිකාරවලින් රෝග සුවවන අවස්ථාද ඇතිවිය හැකි බවයි.
V. පස්වැන්නා අවුරුදු විස්සක් පමන කාලයක සිට මානසික ආබාධයකින් පෙලෙන්නෙක්. ආබාධිතවුයේ අධ්‍යාපනය ලබමින් සිටියදී. දැනට බටහිර ප්‍රතිකාර ලබමින් සිටින්නෙක්. ඔහුටද ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් වුනේ නැහැ.
VI. හයවැන්නා ගුරුතුමියක්. ඇගේ දෙනෙත හිරු එලියට ආවරනය වූ විට හිසේ රුදාව සහ වමනය ඇතිවනවා බටහිර ප්‍රතිකාර ලබමින් අදුරු කල උපැස් භාවිතා කරන්නියක්. ඇයටද ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් වුනේ නැහැ.
VII. අනෙක් හතර දෙනා මේ ප්‍රතිකාර පලදායි නොවන බව සහ විශ්වාසයක් නොමැති බව පලකලා.
VIII. රෝගීන්ගේ ජීව දත්තයන් දැක්වූයේ විශ්ව ශක්තියෙන් පල ලබන්නන් බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් විචාරාත්මකව නොසිතන අය බව මට සිතෙන නිසයි.
IX. බොහෝ පිලිකා වැනි අසාධ්‍ය රෝගීන් ආසන්න දිසා රෝහල මගින් මෙම සායනයට යොමුවු බව මට දැනගන්න ලැබුනා. ඔවුන් සුවපත්වු බවත් නැවත සායනයට යොමු නොවු බවත් පැවසුනා. මම හිතන්නේ ඔවුන්ට නැවත ප්‍රතිකාර සදහා දෛවය ඉඩ නොදුන් බවයි.

මම මෙවැනි ප්‍රතිකාර මගින්ම ලෙඩ රෝග සුව කල හැකියි යන්න විස්වාස කරන්නේ නෑ. ඹෟෂධත් අත්‍යාවශ්‍යමයි. කායික හෝ මානසික රෝගවූ ඕනෑම රෝගයක් රෝගියා තුල රෝගය සුවවන බවට විස්වාස කරවීමට පොලඔවා ගැනීමට හැකිවනවානම් හරි අඩක් ඖෂධ නොමැතිව ්‍රතිකාර සාර්ථක වනවා යන්න මා හිතනවා. වෛද්‍යවරුන් අතරින් සමහරුන් ගෙන් ‘ඇල්වතුර බීවත්’ රෝග සුවවෙන්නේ ඹෟෂධ සමගම එම වෛද්‍යවරුන් කෙරෙහි විස්වාසයත් ඇති නිසයි.
තමන් කෙරේ විස්වාස ඇතිකරවා ගැණීම මෙම මනෝ ප්‍රතිකාර කරන අයගේ මුලිකම කටයුත්ත ලෙසයි මා දකින්නේ. ඉන් ඹෟෂධ නොමැතිව සුව කල හැකි කායිකව බැදී ඇති මානසික රෝග සුව වනවා.

Monday, October 13, 2008

වෝටර් ඒජ් -වතුරේ ගියා

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් විශිෂ්ඨ ගනයේ නඩු තීන්දු දෙකකටත් නියෝග කිහිපයකටත් පසු ගිය සතියේ අප අවධාණයට යොමු විනි. එකක් මහ භාණ්ඩගාරයේ ආචාර්ය පී.බි.ජයසුන්දර මහතාටත් අනෙක ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මියටත් වීම අවධාණය යොමුවීමට ප්‍රධාන හේතුව විය.මෙම නඩු තීන්දු දෙකම තම බලය ඉක්මවා කටයුතු කිරීම හේතුවෙන් වරදක් සිදුව ඇතැයි පදනම මත ප්‍රකාශයට පත් වූ නඩු තීන්දුය.

මට මහින්දයන් ජනාධිපති තනතුරේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රථම කතාව සිහිපත් වේ. ‘‘මම මේ රටේ භාරකරුවා මිස අයිතිකරුවා නොවෙමි. මම පවතින නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ හරිමි’’. යන්නයි ඒ. එතුමා මිහිදු හිමියන් සහ මැකියාවෙලි දෙදෙනාම උපුටා දක්වන ලදී. අනාගතයේදීත් මෙරට පහල වන රාජ්‍ය නායකයින්ද මෙම ආදර්ශයම ගන්නේ නම් වර්ථමානයේ සිටින්නාවූ දේශපාලකයෝද යම් තරමකට අපේ දුප්පත් මවු බිම සූරාකෑමෙන් වලකිනු ඇත. මහින්දයන් ද තම ප්‍රකාශයේ පිහිටා සිටියාද නැද්ද යන්න අනාගතය විසින් තීරණ‍ කරනු ඇත.

ධාර්මිෂ්ඨ සමාජයකට අප රැගෙන ගිය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන උතුමාණ මැති ඇමති වරුන් වංචනිකයන් වීම වැලක්වීමේ අරමුනින් නෛතික වරප්‍රසාද ඉහළ මට්ටමකට නැන්වූවා මතකය.එහෙත් පෘතග්ජන මිනිසුන් වන මේ සත්ව වර්ගයාද කොතෙක් ලැබූවත් සෑහීමකට පත්නොවන්නේමය. මේ මිනිස්සු ඡන්දදායකයාගේ දහඩිය සුවද අදුරන්නේත් ඉවසන්නේත් මැතිවරනය අවසන් වන පස්වරු හතරවන පැය දක්වා පමනකි.කොයිතරම් ප්‍රසන්න මුහුණක් පෙන්නුවත් ඉන්පසු නම් ඡන්දදායකයා මහත් කරදරයක් ලෙස මේ මිනිසුන් සලකන බව පැය ගනනක් පෝලිම සිට මුණගැසෙන විට අපට සිතෙනු ඇත.

පාර්ලිමේන්තුවේ කෙරෙන විවාදයකදී මේ උත්තමයින් දෙසා බාන්නේ මොනවාද කියා විමසා බලන්න. බාල දුවිඩ චිත්‍රපටියකත් පාර්ලිමේන්තුවේ කරන කතාවකත් වෙනසක් තිබේනම් ඒ භාෂාවේ පමනය. ධාර්මිෂ්ඨ සමාජය ඇරඹීමට පෙර පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් වාර්තා සහ වර්තමාන හැන්සාර්ඩ් වාර්තාත් කියවා බලනවිට මේ අහසත් පොලවත් අපට හමුවනවා ඇත.

වර්තමානයේ මුදල් නොමැති නම් මැතිවරනයකට තරග කල නොහැක.උසස් අධ්‍යාපනයට යොමුවු අය වෙත ඒ සදහා යොදවන්න තරම් මුදලක් උපයාගන්නට විශ්‍රාම යන තුරුවත් නොහැක. වර්තමානයේ දේශපාලනට එක්ව ඇති බොහෝ දෙනා ව්‍යපාරිකයෝය. මුදල් සමග තමන්ට නොමැති සමාජ පිලිගැනීම ලබා ගැනීමට දේශපාලනට පිවිසෙන මොවුන්ට ඇත්තේ ව්‍යාපාරික ඥාණය පමනකි. එයත් අධ්යාගපනයත් සමග ලැබෙන ව්‍යෘපාරික ඥාණයක් නොව වාසනාවට පහලවන ව්‍යාපාරික ඥාණයකි. මොවුන් පාර්ලිමේන්තුව තුල මෙන්ම පලාත් සභාව තුලද පාවිච්චි වන්නේ සිග්නල් කනු වශයෙන්ය.
මේ සිග්නල් කනු සියල්ලටම අත උස්සමින් කටයුතු කරන්නේ නොදැනුවත් කමත්, තම පැවත්මත් උදෙසා මිස රට ජාතිය ගැන හිතමින් නොවන බව පැහැදිලි ය. මෙවැනි රැළක් නිර්මානය කරගන්නා නායකයින් රට ජාතිය තම සාක්කුව තර කරගන්නා පිනිස විකුනා ගනිමින් සිග්නල් කනුවලටද ගරා ගැනීමට පුංචි ඉඩ කඩක් ලබාදීම මේ දේශපාලනයේ සංස්කෘතිය බවට පත්ව ඇත.

Wednesday, October 08, 2008

මේජර් ජෙනරාල් ජානක පෙරේරා විරුවානන්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා විරුවානන් ජාතියට අහිමි කරනු ලැබීනි. එතුමන් යුද බිමේ නිරූප්‍රදිතව තම ජාතික මෙහෙවර යුතුකමක් ලෙස සලකමින් මව් බිම අපේය යන උත්තරීතර හැගීමෙන් අනාගත දූ දරුවන්ට ඒකීය ශ්‍රී ලංකාවක් පුද කිරිමේ අරමුනින් දිවි පරදුවට තබා සටන් මෙහෙයවීය. විශ්‍රාම ගැණිමෙන් පසු යුද වීරයෙකු ලෙස ජීවත් වීමට ඉඩ නොහල ජරා දේශපාලනය එතුමා තම සතුරන්ට බිලි ගැණීමට නිරාවරනය කලේය. දැන් වැරැද්දේ දබර ඇගිල්ල හතර වටේ දික්කරමින් තමන් දෙසට ඉතිරි ඇගිලි දික්වී නැතැයි සිතා ගනිමින් පස් පඩංගුවේ බැණ අඩ ගසමින් සිටිති.
මෙම බෝම්බ සිද්ධිය වාර්තා වූ දිනම අප සහෘද බ්ලොග් ලියන්නෙක් අනාවැකි පල කරමින් හතර වටේ බැණ අඩ ගහන උදවිය ගැනත් සදහන් කරමින් තම සංවේගය සටහන් කර තිබිනි.
ඇත්තෙන්ම ජානක පෙරේරා විරුවානන් පලාත් සභා දේශපාලනයට යොදා ගැණීමට තරම් බාල ප්‍රභූවරයෙක් නොවේ.ජරාවෙන් පිරුන භාජනයකට පයින් ගසා බිද දමන විට සිදුවන්නේ තමන්ටද එම ජරාව ඇගපතේ නාවා ගන්නය. එසේ නම් ඒ සදහා සුදුස්සෙක් එතනට යෙදිය යුතුය.එජාප නායකත්වදය උතුරු මැද සහ සබරගමුව ජයග්‍රහණය කරමින් දිග ගමනක් යන්නට පෙරුම් පුරමින් යෙදු බළල් අතක් වූ ජානක පෙරේරා විරුවානන් මරා ගත්තේ රජයද?.

07 වෙනිදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහයන් ජානක පෙරේරා විරුවානන් අගය කර ප්‍රකාශයක් කරමින් රජය ආරක්‍ෂාව ලබානොදීම, එතුමාගේ පෞද්ගලික ආරක්‍ෂක විධි අඩපන කිරීම, නිසා මෙම අවාසානාවන්ත සිදුවීම ට අවස්ථාව ඇති කල බවට වෝදනා කලා.එතුමන් වර්තමාන ආරක්‍ෂක ලේකම් වරයා අනියමින් හෑල්ලුවටත් දෝෂ දර්ශනයට ලක් කරමින් තිබුනා.ත්‍රස්තවාදයට එරෙහි සටනට නියම සුදුස්සා ජානක පෙරේරා විරුවානන් බවත් ඔහුට ඒ සදහා අවස්තාව ලබා නොදුන් බවත් පල කර සිටියා.ඔහු ආරක්‍ෂක ලේකම් වරයා ලෙස පත් නොකරගත් බවත් සදහන් කලා.
මහින්දයන් රනිල් වික්‍රමසිංහයන් නම් කරන පුද්ගලයෙකු අතිශය විස්වාසිවන්ත විය යුතු තනතුරකට පත්කරාවියැයි සිතන අයෙක් සිටියා නම් ඔහු යෝජිතයා පමනක් විය යුතුයි.
එජාප මහ ලේකම් තුමා නොනවත්වා කියවා ගෙන කියවා ගෙන යන අග මුල නැති තර්ක විතර්ක දකිමින් රජයට චෝදනා කරනවා. ආරක්ෂාතව සම්බන්ධයෙන් මේ සියල්ලටම ගැලපෙන උපදේශයක් අතිගරු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමා අපට ඉතිරි කර ගොස් තිබෙනවා රනිල් වික්‍රමසිංහයන් ජනාධිපති තනතුරට පත්ව සිටියා නම් තමුන්නාන්සේලාගේ ආරක්ෂාවව තමුන්නාන්සේලා සලකා ගන්න ඕනී ඒක මට කොරන්න බෑ කියලා, එතුමත් අපට කියාව
මේ විකාර වලින් විශිෂ්ඨ ගනයේ වරිතයක් තව තවත් හෑල්ලුවට ලක් කරනවා විතරයි කෙරෙන්නේ.
කල යුත්තේ කුමක්ද? යන්න තෝරා බේරා ගන්න ජරා දේශපාලනයට පේන්නේ නෑ.
මැතිවරනයකින් පසු වැඩි ජනමතයකින් රාජ්‍ය නායකයෙකු පත් වූ විට ඔහු පිස්සු නටන්නේ නැතිව රට කරයි නම් , ඒ කටයුත්තට සහයෝගය නොදී වල කපනවා නම් ඒ වලේ වැවෙන්නේ රට බව මේ උත්තමයෝ කවදා තේරුම් ගනිද?. රාජ්‍ය නායකයෙකු තමන් අතින් සිදුවන වැරද්දක් පෙන්නා දුන් විට වැරද්ද නිවරදි කර ගැනිමට තරම් නිහතමානි වන්නේනම් නිවරදිවන්නේ රට බව කවදා තේරුම් ගනිද?.
මම මේ සටහන අවයන් කරන්නේ රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රකාශයේ අවසාන කොටසින්.
සැමදා උදැසන හිරු නැගෙනවිටදීත් , හිරු බැස යනවිටදීත් ජෙනරාල් ජානක පෙරේරා රණ විරුවානන් අපට සිහිවේවි. එතුමන්ට ආරක්‍ෂාව ලබා නොදීමේ තීරණයට සම්බන්ධවු හැම දෙනාටම හිරු නැගෙනවිටදීත්, හිරු බැස යනවිටදීත් තම තමන්ගේ හෘද සාක්ෂිකයේ චෝදනාවට හසු වී සදා කල් චේදනා විදිවි.
මේ ඡෙදයේ ජෙනරාල් ජානක පෙරේරා රණ විරුවානන් යන්නත් එතුමන්ට යන්නත් ඉවත් කර එතැන්වලට අපේ මවු බිම සහ මවු බිමට යන වචන දෙක ආදේශ කර රනිල් වික්‍රමසිංහයන්ට යලි කියවන ලෙස යෝජනා කරමි.එවිට එතුමන්ටත් සිදුවන්නේ තමන්ගේ හෘද සාක්‍ෂියේ චෝදනාවට හසු වී සදා කල් චේදනා විදින්නටය.

රටත් වැදු මවත් එක්වන්ය. රට රැකුම මවු රැක්කා වැනිය. ඒකිය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් තම දේශපාලන පක්‍ෂයේ මත වාදයනට ඔබ්බෙන් පෙනී සිටි මේජර් ජෙනරාල් ජානක පෙරේරා විරුවානන්හට නිවන් සුව අත්වේවා !.

Tuesday, October 07, 2008

කතා දෙකක්.
පසු ගිය දිනක රූපවාහිණී නාලිකාවක ලමා වැඩ සටහනකට සහභාගී වු ඌව පලාතේ පාර්ලිමේන්තු ඇමතිනියක වෙත ඉදිරිපත්වූ දැණුම මිණුම පුංචි ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දීමට නොහැකිවිය. රාත්‍රී කාලයේ අහාර සොයා යන පක්ෂිෙයෙක්, මීටරයට සෙන්ටි මීටර් ගණන නොදන්නා ඈ මංත්‍රීනියක ඇමතිනියක වීමට පෙර ගුරුවරියකලු. ගුරුවරියක නොවි සිට ඈ දේශපාලන වෘත්තියට පිවිසීම අපේ පිනට සිදුවුවකි.
මොණරාගල , බිබිල , පසුකර යන විට හමුවන පදියතලාව ග්‍රාමීය නගරයකි. පදියතලාවට අවට ගොවි ගම් වලින් දෛනික අවශ්‍යතා සදහා ගම් වැසියෝ පැමිනෙති . දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරන වෛද්‍යචාර්යතුමෙකු වෙත දිනක ප්‍රතිකාර සදහා පැමිනි තරුන මවක් සහ ඇගේ තවමත් පාසල් නොයන වයසේ දරුවන් දෙදෙනාටත් මව තිදෙනාටම බෙහෙත් ලබා ගන්නා ලදී.
වෛද්‍යචාර්යතුමා පිලිවෙලින් මි.ලි.750,375,200 බෝතල් වලට බෙහෙත් පුරවා මව වෙත දෙමින් , මම මාරුවෙනවට ඔන්න වයසේ හැටියට බෝතල් වලට බෙහෙත් දැම්මා කියමින් බෙහෙත් පාවිච්චි කරන අන්දම විස්තර කලාය. මේ සියල්ල අසා ගෙන සිටි වයස අවුරුදු තුනක පමන බාලම දරුවා අම්මාගෙන් ප්‍රශ්නයක් අසනු වෛද්‍යචාර්යතුමා අසාගෙනය.
‘’ අම්මේ තාත්තා ආවානම් බෙහෙත් දාලා දෙන්න උනොත් වෙද මහත්තයා බෙහෙත් දාන්නේ මොකේද ? . තාත්තාට බෙහෙත් දෙන්න ලොකූ බූලියක් ඕනෑ විය යුතුයැයි දරුවා උපකල්පනය කලා විය හැක.
පුදුමයක මහත මේ දරුවාත් ඇමතිනියත් එකම ප්‍රදේශයේවීමය.

Sunday, October 05, 2008

දෙවිවරුත් සටන්බිමේ

අපේ කාලේ ගුරු අභ්‍යාස විද්‍යාල හරහා පැමිණි ගුරුතුමන්ලාද රුපියල් සියයේ වැටුපට ගුරු සේවයට එක්ව රුපියල් අනූ නවයයි ශත අනූවක් අතට ගත් ගුරුතුමන්ලාද අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නොයෙක් තනතුරු දරා අධ්‍යාපනයට විශාල මෙහෙවරක්කර විශ්‍රාම ගොස් හමාරය.
ඉන්පසු විශ්ව විද්‍යාල විද්‍යා පීඨ යුගය පටන් ගත් අතර ඉන් පැමිණි පළමු , දෙවන කාණ්ඩායම් දැන් විශ්‍රාම යමින් සිටී.මේ ගුරුතුමන්ලාගේ යුගය අතර මගදී ගුරුසේවය අවසන්ව ගුරු වෘත්තිය ආරම්භවෙයි. එහි ආරම්භය සටහන් වන්නේ 25,000 ක් ජනසවිලාභීත්ව ය සුදුසු කමක්වු මහත්ම මහත්මීන්ද තවත් අතුරු මාර්ග ඔස්සේ මංත්‍රී චිට් එකෙන්ද එක්වෙන මහත්ම මහත්මීන්ගෙනි. මේ ගුරු කන්ඩායමට එක්වන උපාධිධාරීන් සහ විද්‍යා පීඨ ගුරුවරුන්ද වෘත්තිකයන් බවට පත්වෙති. වෘත්තිකයෝ සේවය අත හැර වැටුපට සහ මුදලට වැඩ කරන්නට පටන් ගනී.
අවාසනාවන්ත ගුරු ගෝල සම්බන්ධතා සහිත ගුරුවරයාට නොසලකන යුගයක් නිර්මාණය වෙමින් ගන්ධබ්බ අවස්ථාවේ සිටින්නාවු ගුරුවරුන් මා පියන් දරුවන්ට දෝෂාරෝපනය කරන යුගයකට දැන් අප අවතීර්ණ වෙමින් සිටිමු.අනෙක් අය මෙම සංසිද්ධින් සාමාන්‍ය දෙයක් ලෙස සලකති.
පනහේ හැටේ දශකවල ගුරුවරයා දෙවිවරයෙකි. ගමේ ඉස්කෝලේට දුර බැහරින් පත්ව එන මේ ප්‍රභූවරයා ගමේම ඉහලින් වැජඹෙන පුද සත්කාර ලබන්නෙකි. වර්තමානයේ මෙන් අධ්‍යාපන මනෝ විද්‍යාව,ඉගැන්වීමේ ක්‍රම පොතෙන් නොව ප්‍රයෝගිකව දත් මෙතුමන්ලා වරද දුටු තැනම නිසි පිළියම කර නිවරදි කිරීමට දක්ෂායෝ වූහ.ගුරු ඇබැසි විදුහලේදී විවිධ විෂයයන් සදහා පන්නරය ලබා ඇති මෙතුමන්ලා ඕනෑම විෂය නිර්දේශක් පංතියේ පොත පෙරලන්නේ නැතිව ඉගැන්වීය. පාසල්වත්තද දැකුම්කළු තැනක් බවට පත්කර එළවළු පළතුරු මල් ආදියෙන් සුන්දර තැනක් බවට පත් කරමින් පල ප්‍රයෝජන දරුවන් අතරද බෙදා දෙමින් “අපි වවමු රට හදමු” වන් වර්තමාන දිරි ගැන්වීම් ආයාසයකින් තොරව දරුවන් ගේ මනස තුල පැල පදියම් කරවීමට සමත්විය.අද පාසල් වත්තද දරුවන්ගේ මනස මෙන් පාළු කාන්තාරයක් බවට ලත් වී ඇත.
වැඩි වන ජනගහණය , පීඩාකාරී ආර්ථිකය ,ජරා දේශපාලනය ආදී වර්තමාන සමාජ සාධක විසින් අතීතය උඩු යටිකුරු කර දෙවිවරයෙක්වූ ගුරුවරයා අද වැටුපට පවා ණය ගැති යෙකු බවට පත්කර ඇත. ඔහු වර්තමානය වන විට පෙලපාලි යන්නටත් සිසු දරුවන්ගේ අනාගතය ඇපයට තබා ගෙන වර්ජනය කර අයිතිවාසිකම් දිනා ගන්නට තරම් සාහසික වී සිටිති. අධයාපන පින් බිම මේ තත්වයට පත්කිරීමට එක් පසකින් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ තලයේ නිළධාරීන් සහ රිචර්ඩ් පතිරණ ඇමතිවරයාගෙන් පසුව වරින් වර පත්වූ අකාර්යක්‍ෂමතම අධ්‍යාපන ඇමතිවරු සියල්ල වග කිවයුතුය.
මේ දේශපාලන හෝරාව ලියවි ඇත්තේ මහින්ද රාජපක්ෂයන් නමිනි. එතුමාගේ පාලන රටාව නීතී ගරුක ස්වභාවයක් දක්වන බැවින්දෝ අවසානයට ගත යුතු ආයුධය මුලින්ම ගන්නටත් මුලින්ම ගත යුතු ආයුධ බැහැර කරන්නටත් වෘත්තිය සමිති ක්‍රියා කරන බවක්ද පෙනේ.
නිවසක ‍රෝගියෙක් නැත්නම් සුවිශේස අවස්ථාවක් ඇතිවිටෙක අනෙක් ඕනෑ එපාකම් වලට වඩා ඒ සදහා ප්‍රමුඛතාවය දෙන සිරිතක් තිබේ. රටද අසාධ්‍යව සිට ප්‍රතිකර්ම කරන බැවින් ඒ සදහා ප්‍රමුඛතාවය ලබා දී කටයුතු සිදුවේ. ජනතාවද ඉතාමත් ඉවසිල්ලෙන් බලාසිටී.
මේ අල්ල පනල්ලේ ගුරුන්ද යුද්ධ ප්‍රකාශ කිරීම බලවත් වරදක් ලෙස අපි දකිමු.එහෙත් රථ පෙරහැරකින් ඩීසල් පෙට්‍රල් නාස්තිකරගෙන එකා යා යුතු තැනට විසිපහක් තිහක් කැදවා ගෙන යන දේශපාළුවන් මුලින්ම නාස්තිය පිටු දැකිය යුතුය. එහෙත් නාස්තිය ගණනකටවත් නොගන්නා දේශපාළුවන් හට මේ කිසිවක් නොදැනෙන විට සියළු පීඩාවන්ට ගොදුරුවී අපහසුතාවයන්ගෙන් පීඩීත කොටසකින් බලාපොරොත්තු විය හැකි සංහිදියාවක් නැත.